logo

2025-02-25

රජයේ සේවාවන්හි විශිෂ්ටත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රයිම් සමූහය (Prime Group) නව්‍ය රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතා මුලපිරීමක් (Public-Private Collaboration) නිල වශයෙන් එළිදක්වයි

රජයේ සේවාවන්හි විශිෂ්ටත්වය ඉහළ නැංවීම සඳහා ප්‍රයිම් සමූහය නව්‍ය රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතා මුලපිරීමක් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් වන ප්‍රයිම් සමූහය (Prime Group), පළාත් පාලන ආයතන සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් සුවිශේෂී ව්‍යාපාරික-රාජ්‍ය (Business-to-Government) ආයතනික සමාජ වගකීම් (CSR) මුලපිරීමක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සම්මේලනය (FSLGA) සමඟ ඒකාබද්ධව දිවයින පුරා පවත්වනු ලබන වැඩමුළු මාලාවක් හරහා ක්‍රියාත්මක වන මෙම නව්‍ය වැඩසටහන, විශේෂිත පුහුණුවීම් සහ දැනුම හුවමාරු කර ගැනීම මඟින් රජයේ නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරයි.

මෙම ප්‍රයත්නයේ සමාරම්භක සැසිය පෙබරවාරි 19 වන දින ගම්පහ මහා නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ සඳහා ගම්පහ මහා නගර සභාවේ කොමසාරිස් ලෝචනා බාලසූරිය මහත්මිය, වැඩසටහනේ පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කළ මධ්‍යම පළාත් විමර්ශන නිලධාරී උදාන වීරසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ප්‍රයිම් සමූහය නියෝජනය කරමින් ද නියෝජිතයින් පිරිසක් මෙම සන්ධිස්ථානීය වැඩසටහනට එක්වූහ. මෙම සමාරම්භයෙන් පසුව, ශ්‍රී ලංකාව පුරා පිහිටි තවත් ප්‍රධාන මහා නගර සභා හතක් වෙත මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට නියමිතය.

ගම්පහ මහා නගර සභා කොමසාරිස් ලෝචනා බාලසූරිය මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ, "පෞද්ගලික අංශය සහ පළාත් පාලන ආයතන අතර සහයෝගීතාවයේ පාලමක් නිර්මාණය කිරීමට ප්‍රයිම් සමූහය දැක්වූ කැපවීම පිළිබඳව අප කෘතඥ වෙනවා. මෙම නව්‍ය වැඩමුළු මාලාව රජයේ සේවා සැපයීම තවදුරටත් ඉහළ නැංවීමට උපකාරී වනු ඇත. අපගේ නිලධාරීන්ට ලැබුණු ධාරිතා වර්ධනය, විශේෂිත පුහුණුව සහ දැනුම හුවමාරු කර ගැනීම වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කාර්ය සාධනයක් උදෙසා දායක වන අතර, එය සියලුම කර්මාන්ත සහ ක්ෂේත්‍රයන් වෙත ප්‍රතිලාභ අත්කර දෙනු ඇත." යනුවෙනි.

ප්‍රයිම් සමූහයේ මෙම වැඩපිළිවෙළ, වඩාත් ශක්තිමත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ගොඩනැගීමට සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ට සේවාවක් සැපයීමට දක්වන කැපවීම මනාව විදහා දක්වයි. මෙම වැඩසටහන අතරතුරදී, මහා නගර සභා නිලධාරීන් පළාත් පාලන නීතිය, මූල්‍ය රීති සහ රෙගුලාසි පිළිබඳව දැනුවත් කරන ලදී. රජයේ නිලධාරීන්ට විශේෂිත පුහුණුව සහ සම්පත් ලබා දීම මඟින් වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුත් රාජ්‍ය සේවාවක් ඇති කිරීමට ප්‍රයිම් සමූහය අරමුණු කරයි. මෙම පුළුල් වැඩසටහනට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ලබන පුහුණු වැඩමුළු, අත්‍යවශ්‍ය සම්පත් සැපයීම සහ සහභාගී වන රජයේ නිලධාරීන් සඳහා ලොජිස්ටික් (ප්‍රවාහන හා සම්බන්ධීකරණ) සහාය ඇතුළත් වේ.

ප්‍රයිම් සමූහයේ සමූහ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය, "ශ්‍රී ලංකාවේ සැබෑ ප්‍රගතිය උදෙසා පෞද්ගලික ව්‍යවසායන් සහ රාජ්‍ය ආයතන අතර ශක්තිමත් සහයෝගීතාවයක් අවශ්‍ය බව ප්‍රයිම් සමූහය හොඳින් වටහාගෙන තිබෙනවා. මෙම මුලපිරීම, විවිධ කර්මාන්ත හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන රජයේ නිලධාරීන්ගේ දක්ෂතා සහ හැකියාවන් වෙනුවෙන් ආයෝජනය කිරීමට අප සතු කැපවීම නිරූපණය කරන්නක්. මෙම වැඩසටහන හරහා ප්‍රයිම් සමූහය ක්ෂේත්‍රයේ හොඳම භාවිතයන් සහ නව්‍ය ප්‍රවේශයන් බෙදාහදා ගන්නවා. අපගේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට සහ පාර්ශවකරුවන්ට ප්‍රතිලාභ සැලසෙන, වඩාත් විනිවිදභාවයකින් යුත්, කාර්යක්ෂම සහ ප්‍රගතිශීලී පළාත් පාලන පද්ධතියක් ඇති කිරීමට දායක වීමයි."

ප්‍රයිම් සමූහයේ මෙම උදාර CSR වැඩසටහන හරහා, රාජ්‍ය නිලධාරීන් විශේෂිත පුහුණුවකින් සහ නවීන ක්‍රමවේදයන්ගෙන් සන්නද්ධ වන අතර, එමඟින් වඩාත් කාර්යක්ෂම කාර්ය ප්‍රවාහයක් ස්ථාපිත වනු ඇත. මෙම ධාරිතා සංවර්ධන සැසි සියලුම කර්මාන්ත සඳහා හිතකර වටපිටාවක් සහ වඩාත් යහපත් පළාත් පාලන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට මහෝපකාරී වනු ඇත.

Related News

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.